Flicker Images

චීනයේ මහාපරිමාණ ආයෝජකයින් පිරිසක් ආයෝජන මණ්ඩලය සමඟ සාකච්ඡා

Posted on Friday, June 29, 2012 and filed under , . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site


BOI

චීන කිරුම් හා මිනුම් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප‍්‍රධාන පෙළේ නියෝජිත පිරිසක් ශී‍්‍ර ලංකාව තුළ ආයෝජන සිදුකිරීමේ හැකියාව සම්බන්ධ ව ආයෝජන මණ්ඩලය සමඟ පසුගිය දා සාකච්ඡා පවත්වා තිබේ.


මේ සඳහා චීනයේ බීජිං, ෂැංහයි, ජියැංසු, නැන්ජිං සහ ෂෙංසෙන් වැනි ප‍්‍රධාන නගරවල මහා පරිමාණ ව්‍යාපාරික කටයුතු කරන සමාගම් රැසක් නියෝජනය කරමින් ප‍්‍රධාන පෙළේ නියෝජිතයින් 28 දෙනෙක් සහභාගී වූහ.  මෙම නියෝජිතයින් පිරිස චීනයේ ජාතික ලුහු කර්මාන්ත මණ්ඩලයේ සාමාජිකත්වය දරණ කිරුම් හා මිනුම් යන්ත‍්‍ර නිපදවන්නන්ගේ සංගමයේ පූර්ණ සාමාජිකයෝ වෙති.  එම සංගමයේ සම්පූර්ණ සාමාජිකත්වය ප‍්‍රධාන පෙළේ සමාගම් 500කින් සමන්විත වේ.

දැනට ලෝකයේ සීඝ‍්‍ර ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගනිමින් සිටින රටක් ලෙස චීනය විදේශයන්හි ආයෝජන කෙරෙහි වැඩි ප‍්‍රවණතාවක් පෙන්නුම් කරනු ලබයි. එම නිසා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය චීන ආයෝජන ආකර්ෂණය කරගැනීමෙහිලා වැඩි අවධානයක් යොමු කරමින් සිටීයි.

2011 වර්ෂයේ දී චීන ව්‍යවසායකයන් විසින් ශී‍්‍ර ලංකාව තුළ ඇ. ඩො. මිලියන 10.4ක ආයෝජන කටයුතු සිදුකරනු ලැබ ඇත. නොරොච්චෝල විදුලි බලාගාරය, හම්බන්තොට වරාය, දකුණු කොළඹ වරාය සංවර්ධනය වැනි මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ වන විට ද චීන ආයෝජකයන් නිරත ව සිටීයි.

පසු ගිය වසර කිහිපය තුළ චීන ආයෝජනයින් ඉලක්ක කරමින් චීන භාෂාවෙන් සිදුකරන ලද ප‍්‍රවර්ධන කටයුතුවල ඍජු ප‍්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපාරික දුත මෙහෙය හැඳින් විය හැකි බව ආයෝජන මණ්ඩලය පවසයි.

චීන නිෂ්පාදකයන් විසින් පුළුල් පරාසයක පැතිරුණු විවිධාංගීකරණය වූ කිරුම් මිනුම් යන්ත‍්‍ර නිෂ්පාදනය කරනු ලැබේ. විශේෂයෙන් ම ඇමෙරිකාව හා යුරෝපා සංගමයේ රටවල් ඇතුළත් ව ලෝකයේ සියලු රටවල් ආවරණය වන පරිදි මෙම නිෂ්පාදනවල අලෙවි කටයුතු සිදු කෙරේ. මෙම චීන ව්‍යාවසායකයන් පිරිස ශී‍්‍ර ලංකාවේ දැනටමත් කිරුම් මිනුම් උපකරණ නිෂ්පාදනය සිදුකරන ව්‍යවසායකයන් සමඟ ඒකාබද්ධ ව්‍යාපාර ඇති කිරීමට ඇති හැකියාව සම්බන්ධ ව සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසු වේ. මෙම චීන ව්‍යවසායකයින් පිරිස ආයෝජන මණ්ඩලයට අයත් කටුනායක අපනයන සැකසුම් කලාපයේ සංචාරය කොට ශී‍්‍ර ලංකාවේ අපනයන සැකසුම් කලාප තුළ තම අනාගත නිෂ්පාදනාගාර ඉදිකිරීම පිළිබඳ ව ඇගයීම සිදුකිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා චීන නියෝජිත පිරිසේ ප‍්‍රධානියා ලෙස චීන කිරුම් මිනුම් යන්ත‍්‍ර නිෂ්පාදන සංගමයේ සභාපති ලියු සිආහුආ මහතා සහභාගී වූ අතර විධායක අධ්‍යක්‍ෂිකා ගෞරි රාජපක්‍ෂ මහත්මිය, මාධ්‍ය හා ප‍්‍රචාරක අධ්‍යක්‍ෂක දිලිප් සමරසිංහ මහතා හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා කුමුදුනී රත්නවීර මහත්මිය යන අය ආයෝජන මණ්ඩලය වෙනුවෙන් සහභාගී වූහ.

saku

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

0 Responses for “ චීනයේ මහාපරිමාණ ආයෝජකයින් පිරිසක් ආයෝජන මණ්ඩලය සමඟ සාකච්ඡා ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top