Flicker Images

මුළු විශ්වයටම තිබෙන්නේ එකම එක විද්‍යාවක්ද? (බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ගැන)

Posted on Sunday, June 24, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site

විශ්වය කියන්නේ කුමන සීමා මායිම් වලින් යුක්තවුණ දෙයක්දැයි නොදැන “මේ විශ්වයටම තියෙන්නේ එකම එක විද්‍යාවයි” කියන එක එතරම් හොඳ ප්‍රකාශයක් නෙමෙයි. අනික අවුරුදු 12, 14 ළමයින්ට පවා උගන්වලා තියනවා විශ්වයට තියෙන්නේ එකම එක විද්‍යාවක් පමණක් බව. ඒක තමා “බටහිර විද්‍යාවේ ආධිපත්‍යය” කියන්නේ. සිංහල රජකාලේ හා සමකාලීනව අපේ රටේ මිනිස්සු හරි භාරතයේ මිනිස්සුන්ට හරි චීනයේ මිනිස්සුන්ට හරි ඒ මිනිස්සුන්ගේ ළමයින්ට හරි ඔය කියන “විශ්වසාධාරණ” හෝ ‘සාර්වත්‍ර’ එකම විද්‍යාවක් ගැන අදහසක් තිබිලා නෑ. ඒකෙන් කියන්නේ මේ රටවල විද්‍යාවන් නොතිබුණ බව නොවෙයි. ඒ කියන්නේ ඔවුන්ට එවැනි ‘සාර්වත්‍ර’ එකම විද්‍යාවක අවශ්‍යතාවයක් නොතිබීමයි. සාර්වත්‍ර එකම විද්‍යාවක අවශ්‍යතාවය දැනෙන්නේ විශ්වය මවා පාලනය කරන එකමවූ දෙවිකෙනෙකු මත පදනම් වූ චින්තනයක් දරන පිරිසකට පමණයි. ඒ මතම තමයි බටහිර විද්‍යාවේ ආධිපත්‍ය සැකසෙන්නේ. යළි යළිත් කියන්නේ නම්, “මුළු විශ්වයටම තියෙන්නේ එකම එක විද්‍යාවක්” බවම තමයි බටහිර විද්‍යාවේ ආධිපත්‍යය.
අනික විද්‍යාව කියන්නේ ‘ඔය කියන මතුපිටින් දකින තාක්ෂණික මෙවලම් ‘ නොවෙයි. ඒ කියන්නේ අභ්‍යවකාශ යානා, ගුවන් යානා, මොටර් රථ, පරිගණක, දුරකථන ආදී තාක්ෂණික භාවිත නොවෙයි. තාක්ෂණය විද්‍යාව මත පදනම් වෙන බව ඇත්ත. නමුත් විද්‍යාව කියන්නේ යම් යම් සිද්ධාන්ත, සංකල්ප, ප්‍රවාද හැකි පමණ සංගතව සකස්කළ නිර්මාණ රාශියක්. ඒවගේම ඒ ඒ රටවල මිනිසුන්ගේ විවිධ චින්තන මත විවිධ විද්‍යාවන් නිර්මාණය වෙනවා. බටහිර විද්‍යාව පදනම්වන්නේ යුදෙව්-ග්‍රීක-ක්‍රිස්තියානි චින්තනය මත, එම චින්තනයේ ලක්ෂණ එම විද්‍යාවේ ගාමකබලය වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාවය පිණිස ලෝකයේ පණ ඇති-නැති සියලුම දේ මවා ඇතැයි යන්න මුල්වූ බටහිර චින්තන්ය තුළ නිර්මාණය වෙන විද්‍යාත්මක සංකල්ප හා එහි භාවිතය සැමවිටම සැකසෙන්නේ පරිසරය විනාශකරමින් සිදුකරන පාරිසරික, සමාජීය හා සංස්කෘතික ආක්‍රමනයන්ටයි. නමුත් අනිත්‍ය-දුක්ඛ-අනාත්මය මුල්වූ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ විද්‍යාව හා භාවිතය පාරිසරික, සමාජීය සහජීවනය අගයකළ දෙයක් බවයි පැහැදිලි වන්නේ. අපේ වැව-දාගැබ කියන්නේ ඔය කතාව තමයි. වාපී තාක්ෂණය හා ඊටමුල් වූ විද්‍යාව සකල පරිසර පද්ධතියේම සහජීවනය පතා කළ නිර්මාණ. ඒවාගේම අපේ දාගැබ් හා විහාරාරාම ගොඩනැගිලි ආදිය සකස්වුණේ “වෙනස්වීම් වළින් වෙනස්වෙලා” ස්ථායී වීමේ ප්‍රවාද භාවිත කරමින්.
a2=b2+c2 පයිතගරස් ප්‍රමේයය ගත්තොත් එහි භාවිතය භාරතයේ, චීනයේ, ලංකාවේ, මිසරයේ මිනිස්සු දැනගෙන ඉඳලා තියනවා. නමුත් ඒ අපි ජ්‍යාමිතියේදී ඉගෙනගන්න පයිතගරස් ප්‍රමේයය නෙවෙයි. ජ්‍යාමිතියේදී උගන්වන පයිතගරස් ප්‍රමේයය වලංගුවන්නේ යුක්ලීඩීය අවකාශයකයි. එනම් ඔය කියන සෘජුකෝනී ත්‍රිකොණයේ කෝණ තුනේ එකතුව සෘජුකෝන 2 යි කියන අවකාශයක. තවත් සිතන්නේ නම් සමාන්තර ස්වසිද්ධිය වලංගුවන අවකාශයක, ස.රේ.ම.පි.බා.කො 180 කියන අවකාශයක, දිගක් පමණක් ඇති පළලක් නොමැති සරල රේඛාවක් ගැන කථා කරන අවකාශයක පමණයි. නමුත් භාරතයේ, ලංකාවේ, චීනයේ, මිසර්යේ මිනිසුන් ඉහත සම්බන්ධය යොදා ගත්තේ මහපොළව මත කරන නිර්මාණ සඳහායි. මහපොළව යුක්ලීඩීය අවකාශයක් නොවන බැවින් ජ්‍යාමිතියේ උගන්වන පයිතගරස්ගේ ප්‍රමේයය භාරතයේ, ලංකාවේ, චීනයේ, මිසරයේ මිනිසුන්ට පොදු නැත. මහපොළව යුක්ලීඩීය අවකාශයක් නොවන්නේ මන්ද යත් මහපොළව මත “සරල රේඛා” ඇඳිය නොහැකි බැවින්ය.
විද්‍යාව, ගණිතය නිර්මාණ නොව සොයාගැනීම බවත් සමහරුන් කියනවා නේද? ඒකටත් ජ්‍යාමිතියේම තියන දෙයක්, සමාන්තර ස්වසිද්ධිය වෙන්ස්කරලා ඒ ඇසුරින් යුක්ලීඩීය නොවන් ජ්‍යාමිතියක් නිර්මාණය කරලා තියනවා. එම ජ්‍යාමිතිය රිමානීය ජ්‍යාමිතිය කියලා කියනවා. මේක නිර්මාණ සඳහා සරල පිළිතුරක් විතරයි. ලෝකයේ එකම ගණිතයක්, විද්‍යාවක් නෑ. මම ඒක නැවත මතක් කරන්නේ…..මට මෙහෙම දෙයක් මතක් වුණා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නා බටහිර ගණිතයේ “කලනය” “සීමාවන්” පැනවුමෙන් පසුයි සෛද්ධාන්තිකව ඉදිරියට යන්නේ. නමුත් භාරතීය ගණිතයේදී සීමාවන් නිර්ණයෙන් තොරව කලනය අර්ථදක්වා ඉදිරිපත් කරනවා
උදාහරණ ලෙස සමහරුන් කියනවා විදුලිය කියන්නේ සොයා ගැනීමක් කියලා. නමුත් විදුලිය කියන්නේත් මිනිසාගේ නිර්මාණයක්. ඔම් නියමය, කර්චොෆ් නියම, ෆ්ලේමින්ග් නියම ඔක්කොම නිර්මාණ. විදුලියේ මුල් ව්‍යුත්පන්න විද්‍යුත් ක්ෂේත්‍ර හා චුම්බක ක්ෂේත්‍ර හා බැඳී ඇත. මේවා නොවන්නට විදුලියක් ද නැත. නමුත් මේවාද නිර්මාණ බැවින් විදුලිය සොයාගැනීමක් වන්නේ කෙසේද?
දෑලත් ළහිරු රුවංක

Read more: http://sinhalabuddhist.com/2012/01/domination-of-western-science/#ixzz1ygOckr9y
Under Creative Commons License: Attribution

0 Responses for “ මුළු විශ්වයටම තිබෙන්නේ එකම එක විද්‍යාවක්ද? (බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ගැන) ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top