Flicker Images

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟේ වැලි කැනීමට අවසර දීම නීතිවිරෝධියි

Posted on Monday, November 5, 2012 and filed under , . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ යාන්ත‍්‍රික වැලි කැනීම් කටයුතු සඳහා නීති විරෝධී ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා ගොවිජන සේවා හා වන ජීවී අමාත්‍යංශයේ ලේකම් උදේනි වික‍්‍රමසිංහ මහතා විසින් අවසර ලබා දී ඇතැයි පරිසර සංරක්ෂණ භාරය නිවේදනයකින් පවසයි.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3(ආ) වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයකට ඇතුළු විය හැකි වන්නේ නැරඹීමේ කාර්යයක් සඳහා පමණි. එවන් තත්ත්වයක් පවතිද්දී ජාතික වනෝද්‍යානය තුළ පිහිටි අඹන් ගඟේ යාන්ත‍්‍රික වැලි කැනීමේ කටයුතු සඳහා අනුමැතිය ලබාදීම ඉතාම හානිකර හා නීති විරෝධී ක‍්‍රියාවකි.
පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ, ඇළහැර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 21, ඉකිරිවැව ග‍්‍රාම නිලධාරී වසමේ ජයසිරිපුර, ගඟේ යාය ප‍්‍රදේශයේ අඹන් ගඟේ වැලි කැනීම සඳහා මෙලෙස නීති විරෝධී ලෙස අනුමැතිය ලබාදී තිබේ. මේ අනුමැතිය මත පදනම් ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් 2012.10.18 වන දින අංක IML/A/HO/6584 දරණ (මාස 06ක කාලයක් සඳහා වලංගු) කාර්මික කැනීම් බලපත‍්‍රය නිකුත් කර තිබේ. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පිහිටි අඹන් ගඟේ හෙක්ටයාර එකක (අක්කර 2.5 ක්) ප‍්‍රදේශයක වැලි කැනීම් සඳහා මෙලෙස බලපත‍්‍රය නිකුත් කර ඇත්තේ බකමූණ, සමූපකාර මාවතේ අංක 70 දරණ ස්ථානයේ පදිංචි සජිත දුලංජන ගුණවර්ධන නමැත්තෙකු සඳහා ය.
මේ බලපත‍්‍රය බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් සිදු කරන යාන්ත‍්‍රික වැලි කැනීම් කටයුතු සඳහා නිකුත් කර තිබේ. වැලි කැනීමට අඹන් ගඟට බැකෝ යන්ත‍්‍ර හා ට‍්‍රැක්ටර් රථ ඇතුළු කිරීම සඳහා ජයසිරිපුර, ගඟේ යාය ප‍්‍රාදේශයේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ මායිමේ සකස් කර ඇති විදුලි වැට ගලවා ඉවත් කිරීමට මේ වන විට සැලැසුම් සකස් කරමින් පවතී.
වස්ගමුව ජාතික වනෝද්‍යානය ලංකාවේ ජාතික වනෝද්‍යාන අතුරින් ඉතාම සුවිශේෂී ජාතික වනෝද්‍යානයකි. වලසුන් නැරඹීම සඳහා වැඩි ප‍්‍රසිද්ධියක් උසුලන වස්ගමුව ජාතික වනෝද්‍යානය අලි – ඇතුන් ගේ ප‍්‍රධාන වාසස්ථානයකි. වස්ගමුව, මහවැලි ගඟේ හා අඹන් ගඟේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයකි.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1984.08.07 වන දින අංක 309/4 දරණ ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 33765ක් පමණ වන වනාන්තර ප‍්‍රමාණයක් වස්ගමුව ජාතික වනෝද්‍යානය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ වනාන්තර ප‍්‍රදේශයට මෙවන් නීතිමය ආරක්ෂාවත් ලබා දී ඇත්තේ ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස ඇති වැදගත්කම හා මහවැලි ව්‍යාපාරය යටතේ වාසස්ථාන අහිමි වූ වන සතුන්ට රැකවරණය සැලසීම ප‍්‍රධාන අරමුණු කර ගෙන ය. එවන් වැදගත්කමක් සහිත ජාතික වනෝද්‍යානයක වැලි කැනීම් කටයුතු සඳහා අවසර ලබාදීම හා විදුලි වැටවල් ගලවා ඉවත් කිරීමට අවසර ලබාදීම යනු ඉතාම හානිකර හා නීති විරෝධී ක‍්‍රියාවකි. විදුලිවැට ඉවත් කිරීම හේතුවෙන් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිටින අලි – ඇතුන් ජයසිරිපුර හා ගඟේ යාය ප‍්‍රදේශවලට පිවිසීමෙන් අලි – මිනිස් ගැටුමක් මේ ප‍්‍රදේශවල අලුතින් නිර්මාණය විය හැකි ය. මේ වැරදි තීන්දු තීරණ හරහා නිලධාරීන් උත්සාහ දරන්නේ අලි – මිනිස් ගැටුම තවදුරටත්, නිර්මාණය කර ව්‍යාප්ත
කිරීම සඳහා දැයි අපට ගැටළුවකි.

මේ නිසා අප අදාළ බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම නීති විරෝධී හා හානිකර ක‍්‍රියා මැඩ පැවැත්වීමට කටයුතු කරන ලෙසත් වනජීවීන් වෙනුවෙන් වෙන් කළ රක්ෂිත ප‍්‍රදේශවල රැකවරණය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් ය.
සජීව චාමිකර

පරිසර සංරක්ෂණ භාරය
- සිංහලයා පුවත්
කාර්මික කැනීම් බලපත‍්‍රය හා අනුමැතිය ලබාදුන් ලිපි පහත දැක්වේ


































































































0 Responses for “ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟේ වැලි කැනීමට අවසර දීම නීතිවිරෝධියි ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top