Flicker Images
2013 අය-වැය ජනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
Posted on Friday, November 9, 2012 and filed under breakingnews , news . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site
සැමට සහන රැසක් සමඟ නව සංවර්ධන යෝජනා
අද (08) පස්වරු 12.53ට පමණ පාර්ලිමේන්තු සභා ගැබ මැදින් කතානායක චමල් රාජපක්ෂ මහතා කතානායක අසුන වෙත ගමන් කර සභාවේ වැඩකටයුතු ආරම්භ කළේය.
පස්වරු 1.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ සිය අසුන වෙත පැමිණෙන විට සභා ගැබ මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඉතිරී තිබිණි. න්‍යාය පුස්තකය අනුව දිනට නියමිතව තිබූ 2013 අය-වැය කතාව ජනාධිපති තුමා විසින් ඉදිරි කරන ලද්දේ ඉන් අනතුරුවය.
මේ ඉදිරිපත් කරන්නේ අපේ රජයේ 8 වැනි අය-වැය ලේඛනය බවත් මේ දක්වා නොකඩවා අය-වැය 7ක් ඉදිරිපත් කරමින් රටේ සාමය, සංවර්ධනය හා සංහිඳියාව ඇතිකිරීමට හැකිවීම ගැන ආඩම්බර වෙන බවත් පවසමින් එතුමා සිය අය-වැය දේශනය ආරම්භ කළේය.
එතුමා ඉදිරිපත් කළ අය-වැය කතාවෙන් කළ යෝජනා කිහිපයක් සැකෙවින් පහත දැක්වේ.
2013 අයවැයෙන් දුෂ්කර පාසැල් දරුදැරියන්ට වැඩි සහන ලබා දීමට යෝජනා කෙරේ. 2010 - 2010 පස් අවුරුදු සැලැස්ම තුළ දැඩි අසීරුතා මඟහරවා ගනිමින් මහින්ද චින්තන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව දිළිඳුකම පිටු දකිමින් රට සංවර්ධනය කිරීමට රජයට සිදු විය. පශ්චාත් යුධ සමයක අසීරුතා මධ්‍යයේ රටේ සියලු කේෂ්ත්‍රයන් දියුණු කිරීමට අපට සිදු විය.
ඒ අනුව දිළිඳුකම පිටු දකිමින් කෘෂිකර්මාන්තය නඟාසිටුවමින්, ගම්බද පාරවල්, ජල පහසුකම්, විදුලිය පහසුකම් වැඩි දියුණු කිරීම සිදු කළේය. උද්ධමනය, විරැකියාව හා දිළිඳුකම ප්‍රදර්ශනය වීම නිසා ගෝලීය ආර්ථිකය තුළ අපේ රට පැහැදිලිව පෙනෙන්නට වුණා. ඊට අමතරව යුද්ධය නිසා පීඩාවට පත් වූ පිරිස් නැවත පදිංචි කරවීම හා ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට සිදු විය.
ආරක්ෂක අංශවල දැඩි කැපවීම හා ඔවුන්ගේ සේවය අගය කිරීමට ඔවුන්ගේ නිවාස හා පවුල් සංවර්ධනය කිරීම සිදු කළ යුතුව තිබෙනවා. එම නිසා 2013 අයවැයෙන් ආරක්ෂක අංශවල නිවාස හා පවුල් ගොඩනැගීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
පොලිස් සේවාවන් සහ දීමනා හා ඔවුන්ගේ අධ්‍යයන අවශ්‍යතා නගාසිටුවීමට තවත් රුපියල් මිලියන 950ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
ජාතික සංවර්ධනය දියුණු කිරීමට පවුල ශක්තිමත් කළ යුතු වේ. ඒ සඳහා නිරන්තරයෙන් ජනතාව සමඟින් සම්බන්ධ වන ආගමික ස්ථාන හා ජනතාව මත්ද්‍රව්‍ය වැනි අහිතකර දේවලින් මුදවා ගැනීමට සහය වන ආගමික ස්ථාන නඟාසිටු වීමට 2013 අයවැයෙන් රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
එසේම දිළිඳුකම පිටු දැකීම සඳහා ළමා හා ළමා සංවර්ධනය දියුණු කිරීම මෙන් ම ළදරු මරණ අනුපාතය පහළ දැමීම සිදු කළ යුතුය. ඒ අනුව දිළිඳු බවේ ඉලක්කයන් නැති කොට මන්දපෝෂණයෙන් තොර දරුවන් බිහිකිරීමට අඩු ආදායම් ලාභී පවුල් සංවර්ධනය කිරීම සිදු කළ යුතුය. එම නිසා දුෂ්කර පාසැල්වල දරුවන්ට නොමිලේ කිරි, බිත්තර හා ධාන්‍ය සපිරි ආහාර වේලක් ලබා දීමට යෝජනා කෙරේ. මීට අමතරව එම දරුවන්ට වසර මැද දී තවත් නිල ඇඳුමක් නොමිලේ ලබා දීමට ද යෝජනා කෙරේ. තවද දුෂ්කර පාසැල්වල දරුවන්ට නොමිලේ පාවහන් යුගලයක් ද ලබා දීමට යෝජනා කෙරේ.
මීට අමතරව ළමා සංවර්ධනය ඉහළ නැංවීමට හා දිළිඳුකම පිටුදැකීමට රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කිරීමට යෝජනා කෙරේ. තවද ග්‍රාමීය ප්‍රජාව හා දුෂ්කර ජනතාව වාසය කරන ප්‍රදේශවල ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට එම ප්‍රදේශවල සංචාරක හෝටල්, බැංකු හා අනෙකුත් ව්‍යාපාර වග බලාගත යුතු බවද යෝජනා කෙරේ.
නියඟය හා නායයෑම් වැනි ස්වභාවික ආපදා වළක්වා ගැනීම සඳහා හෙක්ටයාර් 250000 දක්වා වනාන්තරවලින් වැසී ඇති භූමි ප්‍රමාණය 25%ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරනවා.
පසුගිය කාලය තුළ ඇතැම් ප්‍රදේශවල ජනතාව දැඩි නියඟයෙන් පීඩා විඳි අතර එම පීඩාවන් තුරන් කිරීමට ගොවියන් ඉල්ලීම පරිදි වැව් 972ක් මේ වන විට රොන්මඩ ඉවත් කොට ප්‍රතිසංස්කරණය කර තිබේ. එම ගොවීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට මහ කන්නයේ බිත්තර වී නොමිලේ ලබා දීමට යෝජනා කෙරේ. තවද මහ කන්නයේ අස්වැන්න ලබා ගන්නා තෙක් එම ගොවීන් විසින් ලබා ගත් බැංකු ණය නැවත ලබා නොගැනීමට මෙන්ම එම ණය ආධාරවල සියලුම පොලී මුළුමනින්ම අහෝසි කිරීමට ද වැඩිදුරටත් යෝජනා කෙරේ.
එසේ ම නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
නිල්ල පිරුණු රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් ලබාදීම සිදු වේ.
කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා කාබනික පොහොර කිලෝ 50ක බෑගයක් රුපියල් 400ක සහතික මිලක් යටතේ ලබාදීම හා රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය නිසා දැඩි අහිතකර බලපෑම් ජෛව විවිධත්වයට ඇති වී ඇතැයි ද බෝ නොවන රෝගවලට බලපා ඇතැයි ද මතවාදයක් ඇති වී තිබෙනවා. එහි ප්‍රතිවිපාක අවම කර ගැනීමට කටයුතු කරනවා.
වාරිමාර්ග සංවර්ධනය යටතේ 2015 වසර වන පානීය ජල පහසුකම් ඉහළ මට්ටමකට ගෙන යාමට සිදු කෙරෙන මෙහිදී රුපියල් මිලියන 102ක් වෙන් කෙරේ.
රජයේ කර්මාන්ත ශාලාවෙන් විශාල සේවයක් සිදුවන අතර එහි යන්ත්‍රෝපකරණ උසස් තාක්ෂණයෙන් දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර සංවර්ධනය කරනු ලැබේ.
පවුල් 5800000කට පානීය ජල පහසුකම් ලබාදීම සඳහා මෙම අයවැය මඟින් රුපියල් මිලියන 126ක් ආයෝජනය කෙරේ. කොළඹ නගරයේ ජලය අපතේ යාම වැළැක්වීමට රුපියල් මිලියන 25ක ආයෝජනයක් කෙරෙන අතර ජල සම්පාදන මණ්ඩලයේ දායකත්වය ඇතිව ප්‍රජා ජල සම්පාදනය සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ.
වී මිල දී ගැනීමේ සහතික මිල දැනට රුපියල් 28/-ත් 30/ත් අතර තිබෙන නමුත් එය කිලෝවකට රුපියල් 32 - 35 දක්වා ලබන මාස් කන්නයේ සිට වැඩි කෙරෙන අතර කාබනික වී කිලෝවක් සඳහා රුපියල් 40ක සහතික මිලක් ලබාදීමට පියවර ගැනේ.
රතු ළූණූ, බඩ ඉරිඟු, මුං ඇට, කව්පි, උඳු, සෝයා බෝංචි, ඉඟුරු කෘෂි නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා 2015 වන විට ඒවා ආනයනය නතර කිරීමට යෝජනා කෙරේ.
තරුණයන් 1000ක් ඉලක්ක කර ඔවුන් යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම සඳහා ආදර්ශ ගොවිපළ සඳහා විශේෂ ව්‍යාපෘතියක් හඳුන්වා දීමට යෝජනා කෙරේ.
සෑම නගරයක ම සති පොළක් පිහිටුවීමට කටයුතු කිරීම හා ලක් සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කිරීමට රුපියල් මිලියන 500ක් ලබාදීම සිදු වේ. සෑම ලක් සතොස අපෙවිසලකම ඔසුසැල් පිහිටුවීමටත් එමඟින් ඖෂධ සඳහා ද සාධාරණ මිලක් ලබාදීමටත් කටයුතු කෙරේ.
සීනි කර්මාන්තය සඳහා වැඩිදියණු කිරීම සිදු වන අතර කුඩා ගොවීන් 130000ක් උක් වගාවට යොමු කිරීමට කටුයුතු කර තිබේ. ඒ ආශ්‍රිත දේශීය නිෂ්පාදනද වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. කිතුල්ගස් මෙන් පොල්ගස් ද හකුරු හා සීනි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් යොදාගැනීම සඳහා ගස් මැදීමේ සියලු බලපත්‍ර අහෝසි කෙරේ.
කිරි හා පශු සම්පත් සංවර්ධනය කරමින් දේශීය කිරි ගොවියා නඟාසිටුවීමට කිරි ලීටර් එකක් සඳහා රුපියල් 50ක මිලක් නියම කිරීමට යෝජනා කෙරේ.
දිවිනැඟුම යටතේ කුකුළු ගොවිපොළ සංවර්ධනය කරමින් ආදායම් නැංවීමට කටයුතු කර තිබෙන අතර එය සංවර්ධනය කිරීමට තවදුරටත් කටයුතු කෙරේ.
ධීවර හා ජල සම්පත් යටතේ ධීවර බෝට්ටු සඳහා රුපියල් මිලියන 300ක් ලබාදී තිබෙන අතර වරායන් නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් ලබාදීම සිදු වේ.
2013 දැයට කිරුළ පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත සංවර්ධනය කෙරේ. ඒ අනුව පොලොන්නරුව, අනුරාධපුරය, මඩකළපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල දැවැන්ත සංවර්ධනයක් ඇති කෙරේ. ඒ අනුව අම්පාර ප්‍රදේශයේ සියලුම ප්‍රාථමික හා ද්වීතීයක පාසැල් සංවර්ධනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.
මීට අමතරව එම ප්‍රදේශවල ජීවන තත්ත්වය වැසිකිළි, සතිපොළ හා නගර සංවර්ධනය සිදු කිරීමට රුපියල් මිලියන 60ක් 2013 අය-වැයෙන් ලබා දීමට යෝජනා කෙරේ. මේ අනුව එම පළාත්වල දරුවන්ගේ විෂය දැනුම පුළුල් කිරීමට කටයුතු කෙරේ.
දරුවන්ගේ ළමා සංවර්ධනය හා ළමා මානසිකත්වය දියුණු කිරීමට ක්‍රීඩාව ඉතාම වැදගත් වන අතර එම නිසා ක්‍රීඩා පාසැල් තුළ දියුණු කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කෙරේ. විවිධ ජාත්‍යන්තර ක්‍රීඩා තරග පැවැත්වීමට හා දේශීය හා විදේශීය ආකර්ෂණය දිනා ගැනීමට එවැනි ක්‍රීඩා තරග පැවැත්වීමට යෝග්‍ය දේශගුණික සාධක සපිරි රටක් වන නිසා ඒ සඳහා යොමු වීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට හෝටල් බදු සහන ලබා දීමට යෝජනා කෙරේ.
එසේම තරුණ පිරිස්හට ඔවුන්ගේ දක්ෂතා ඔප්නංවාගැනීමට දායක වන ජාතික තරුණ සේවා සභාවට මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කෙරේ. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් ඇති ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමටද යෝජනා කෙරේ.
සංචාරක කර්මාන්තය මේ කාල වකවානුව තුළ සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින අතර මීගමුව, බෙන්තොට, වැලිගම, කල්පිටිය, නිලාවැලි, පාසිකුඩා වැනි ප්‍රදේශවල සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට ඉදිකිරීම් සිදු කිරීමට යෝජනා කෙරේ. විවිධත්වයෙන් සමන්විත දේශීය ව්‍යාපාරිකයන් දිරිගැන්වීම සඳහා ඔවුන් විසින් ලබා ගන්නා ඉඩම් වටිනාකමින් 5%ක වට්ටමක් ලබා දේ.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සඟරා, කැමරා සහ තාක්ෂණය කණ්ඩායම් සහ ජනමාධ්‍ය නියෝජිතයින් දිරිමත් කිරීමට සංචාරක අධිකාරිය වෙත මිලියන 1000ක මුදලක් ලබාදීමට යෝජනා කෙරේ.
ඉදිකිරීම් හා ගොඩනැගීම් කේෂ්ත්‍රයට අදාළ ආම්පන්න හා ඒ හා සම්බන්ධ බදු අවම කිරීමට යෝජනා කෙරේ.
නාගරික හා ජනාවාස ක්‍රම ඇතුළු ප්‍රජා පහසුකම් පුළුල් කිරීමට හා මුඩුක්කු පැල්පත් වාසීන්හට ස්ථිර නිවාස ලබා දීමට මේ වන විට කටයුතු යොදමින් පවතින අතර දීර්ඝ කාලයක් පුරා පවතින නිවාස යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමට නිවාස අධිකාරිය වෙත දැනට පවත්නා මුදල රුපියල මිලියන 750ක් වැඩි කිරීමට යෝජනා කෙරේ.
සෞඛ්‍ය සේවා දියුණු කිරීම සඳහා ප්‍රාදේශීය රෝහල් ප්‍රතිසංස්කරණය කිරීමට හා එම රෝහල්වල වෛද්‍යවරුන්, හෙදියන් හා විශේෂඥ වෛද්‍ය පහසුකම් වැඩි කෙරේ. දේශීය වෛද්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට හා දේශීය වෛද්‍යවරුන් හා විදේශීය වෛද්‍යවරුන් එක්ව සිදු කරනු ලබන පර්යේෂණ සඳහා මෙන්ම දේශීය වෙදකම නගාසිටුවීමට රුපියල් මිලියන 300ක් වෙන්කිරීමට යෝජනා කෙරේ.
අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කර තිබේ. උපාධි පාඨමාලාවන් සඳහා යෙදවීමට රුපියල් මිලියන 1600ක් වෙන් කර තිබේ. දකුණු ආසියාවේ විශාල හරිත විද්‍යාලය ලබන වසරේ විවෘත කෙරෙන අතර කෘෂිකාර්මික විශ්වවිද්‍යාල 5ක් ගොඩනැගෙන අතර ඒ සඳහා රුපියල් මිලිනය 350ක් වෙන් කෙරේ.
විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල වැටුප් හා වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 4000ක් වෙන් කෙරේ. යාපනය ජයවර්ධනපුර සහ රුහුණු විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කෙරේ. විශ්වවිද්‍යාල නේවාසිකාගාර සඳහා ඉඩම් නොමිලේ ලබාදීම සිදු වේ.
නාවික අභ්‍යාස ආයතනය ඇති කිරීමට ආරම්භක ප්‍රාග්ධනය වශයෙන් මිලියන 500ක් වෙන් කෙරේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ පර්යේෂකයින් පර්යේෂණ 300කට වඩා ආරම්භ කර ඇති අතර පිළිගත් සඟරාවලද ඇතැම් පර්යේෂණ ලිපි පළ වී තිබේ. පර්යේෂණ සහ තාක්ෂණික කාර්යයන් සඳහා ජාතික පර්යේෂණ සභාවට රුපියල් මිලියන 250ක් ලබා දෙන අතර පර්යේෂණ උපකරණ අඩු මිලට ලබා දීමටත් පියවර ගැනේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය සහ ඒ ආශ්‍රිත පුළුල් කිරීමට මිලියන 300ක ප්‍රතිපාදන ලබාදෙන අතර සෑම ග්‍රාමසේවා වසමකම ආගමික මධ්‍යස්ථානවල සහය ලබාගනිමින් නැණසල මධ්‍යස්ථාන ආරම්භ කිරීමට රුපියල් මිලියන 750ක් ලබාදීම සිදු වේ.
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට පොලී රහිත ණය ලබාදීම සඳහා වන වැඩපිළිවෙළේ පළමු අදියරේ දී 150 දෙනෙකුට ණය ආධාර ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා බැංකු පොලිය ගෙවීමට රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කෙරේ.
රට විරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය පියවර ගෙන තිබේ. ආර්ථිකයට බිලියන 6ක් වැනි විශාල දායකත්වයක් ලබා දෙන රට විරුවන් විදේශ රැකියාව අවසන් කොට පැමිණි විට කුඩා ව්‍යාපර ඇරඹීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කෙරේ. රට රැකියාවලට ගෘහ සේවිකාවන් අඩුකර වෙනත් පළපුරුදු පුහුණු ශ්‍රමිකයන් යැවීමට පියවර ගැනේ. විදේශ රැකියාවල නියුතු වන්නන්ට අදාළ පාඨමාලාවන් හැදෑරීමට විද්‍යාල 2ක් ස්ථාපිත කිරීමට යෝජනා කෙරේ.
රබර් පැළ නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. නියඟයෙන් හානි වූ පොල් වතු සඳහා පොල් පැළ නොමිලේ ලබාදීම සිදු වන අතර කාබනික පොහොර සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.
අපනයන කර්මාන්තයේ බදු අඩු කිරීමට යෝජනා කෙරිණි.
ප්‍රාදේශීය සභා යටතේ ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කෙරෙන අතර ශක්තිමත් නොවූ නගර සභා වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1700ක් වෙන් කර තිබේ.
විදේශ මත්පැන් හා ස්ප්‍රීතු සඳහා (විස්කි) තීරුබදු 25%කින් බදු වැඩි කර තිබේ.
රජයේ විශ්‍රාමිකයන්ගෙන් 2004ට පෙර විශ්‍රාම ගත් අය සඳහා රුපියල් 750ක් ගෙවීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබෙන අතර 2005 සිට 2006 දක්වා විශ්‍රාම ගත් අය සඳහා රුපියල් 500ක් දීමනාවක් ගෙවීම සිදු වේ. මීට අමතරව අනෙකුත් විශ්‍රාමිකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 500කින් වැඩිකිරීම සිදු වේ.
කම්කරු සුබසාධනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කර තිබෙන අතර ඔවුන්ගේ විවිධ සහන සැලසීම මෙහිදී සිදු වේ.
ජූලි වැඩවර්ජකයිගෙන් රැකියා අහිමි වූ ලබන ජනවාරි 01 දිනට වයස අවුරුදු 60ක වැඩි අයට මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට යෝජනා කෙරේ.
රාජ්‍ය සේවකයින්ගේ දීමනා මසකට රුපියල් 1500ක අවමයකට යටත් ව වැඩි කරන අතර එයින් 2013 ජනවාරි මාසයේ රුපියල් 750ක් ලබා දෙන අතර ඉතුරු 750 එම වසරේ ජූලි සිට ලබාදීම සිදු වේ. ජාතික වැටුප් කොමිසමක් පත් කිරීමට ද මෙම අය-වැය මඟින් යෝජනා වී තිබේ. රජයේ සේවකයින්ගේ අග්‍රහාර රක්ෂණ දීමනාව වැඩි කරන අතර මරණයක දී ගෙවනු ලබන දීමනාව රුපියල් 50000කින් වැඩි කිරීමට යෝජනා කෙරේ.
තම අය-වැය දේශනය අවසන් කරමින් ජනාධිපතිතුමා, විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයට ද දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ද 2015 වන විට උත්තරීතර ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කැපවෙමු ඒ සඳහා එක සිතින් ආරාධනා කරන බව ද පැවසුවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
