Flicker Images

තම වර්ගයා පෝෂණය කරන වරාය හා මහාමාර්ග ලේකම්ගේ ඒකාධිපති වියරුව ගැන සේවකයින් නොසන්සුන්

Posted on Monday, October 1, 2012 and filed under . You can follow any responses to this entry through the RSS 2.0 . You can leave a response or trackback to this entry from your site



වරාය හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි මහතා තම ඉංජිනේරු වර්ගයා පෝෂණය කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු ම බලය තමා වෙත නතු කර ගනිමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බව එහි සේවකයෝ පවසති.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවයට එක් වී එහි සාමාන්‍යාධිකාරීව සිට මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඔහු කටයුතු කරයි.
ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස තම බලතල පාවිච්චි කරමින් මේ වනවිට එහි සේවකයින් අතරින් ඉංජිනේරු වෘත්තිකයන්ට පමණක් වරදාන, වරප්‍රසාද ලබා දෙමින් අනෙක් සියලු සේවකයින් වහලුන් බවට පත් කරමින් සිටින බවත්, බොහෝවිට මෙම තත්ත්වය ජනාධිපතිතුමා නොදන්නා බවත් එහි සේවකයෝ පවසති.
ඉංජිනේරුවරුන්ට තම අභිමතය පරිදි දීමනා ගෙවන අතර එයට තවත් උදාහරණයක් එක් කරමින් පසුගිය දින ප්‍රවාහන දීමනාවක් ලෙස අයවැය යටතේ රජයේ ඉංජිනේරු සේවයේ ප්‍රවාහන දීමනාව නොලබන, වාහන ලබා දී නොමැති ඉංජිනේරුවරුන්ට ජනාධිපතිතුමා විසින් ගෙවන ලද දීමනාව දඩමීමා කරගෙන, 2012 අගෝස්තු සිට මෙකී සියලු ප්‍රතිලාභ ලැබෙන මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු ම ඉංජිනේරුවරුන්ට පමණක් එම අධිකාරිය රටේ සංවර්ධනයට වන දායකත්වය සලකා බලා යැයි පවසමින් රු. 15000ක මාසික දීමනාවක් ගෙවීමට කටයුතු කර ඇත. මේ නිසා එහි අනෙකුත් සියලු ම වෘත්තීන්හි සේවකයින් එකී සංවර්ධනයේ කොටස්කරුවන් නොවන්නේ මන්ද යන්න සේවකයෝ ප්‍රශ්න කරති.
තවද මීට ඉහත මෙම අධිකාරියට බඳවා ගන්නා සියලු සේවකයින්ට 2007.01.01 සිට මාර්ග සංවර්ධන අධිකාරියේ දීමනාව අත්හිටුවන ලද නමුත් එය නැවත 2008 මැයි සිට ඉංජිනේරුවරුන්ට පමණක් හා තවත් අධ්‍යක්ෂ මට්ටමේ නිලධාරියෙකුට දීමනාවේ නම වෙනස් කරමින් තම සිතැඟි පරිදි එම මුදලම ගෙවීමට කටයුතු කර ඇති බවත්, පසු ව මේ සම්බන්ධයෙන් සේවකයින් දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹීමෙන් සියලු සේකයින්ට 2011 ජූනි සිට එම දීමනාව ගෙවීමට කටයුතු කර නැවත ඊට පසු මාසයේ ගෙවීම අත්හිටවූ බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පවසයි.
මෙලෙස වරාය හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් හා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු ප්‍රේමසිරි මහතා සේවකයින් අසරණ කරමින් ඔවුන්ගේ මාසික වැටුප සමඟ නිර්ලජ්ජී ක්‍රීඩාවක යෙදෙන අතර පසුගිය දිනක (2012.07.19) ඔහු යටතේ පවතින කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ක්ෂේත්‍ර චාරිකාවකට සිවිල් ඉංජිනේරු උපාධිය හදාරණ තම දියණියට හා ඇයගේ මිතුරු කැළට මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වාහන විශාල ප්‍රමාණයක් ලබා දී පියෙකුගේ වගකීම් ඉටු කරමින් තම දියණියගේ අධ්‍යාපන කටයුතුවලට රජයේ මුදල් වැය කරමින් සහය දී ඇති බව අධිකාරියේ බොහෝදෙනා අතර ජනප්‍රිය රහසක් බව ද පැවසේ.
මෙම අධිකාරියේ නුගේගොඩ නිල නිවාස සංකීර්ණයේ දීර්ඝ කාලයක් තිස්සේ සියලුම වෘත්තීන්ට අයත් සේවකයින් රැඳී සිටින අතර මේ වනවිට සභාපතිගේ මැදිහත්වීමෙන් එම සේවකයින් එළවා දමා තම ඉංජිනේරු වර්ගයාට පමණක් අදාළ නිල නිවාස හිමිකර දීමට කටයුතු කරමින් යන බව ද සේවකයෝ දැඩි කනස්සල්ලෙන් යුතු ව පවසන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය ලබාදෙන ලෙස ද නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු නොවන වෘත්තීන්ට අයත් සේවකයෝ පැවසුවේ මෙම ඒකාධිපති වියරුවට හේතුව රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් නොමැතිකම හා ජනාධිපතිතුමා සමඟ සමීපව කටයුතු කරන බව පෙන්වමින් එතුමාගේ ගිණුමට බැර කරමින් සියල්ල ජනාධිපතිතුමා දැනුවත් ව සිදුකරන බව පෙන්වමින් තම අභිමතය පරිදි කටයුතු සිදුකරමින් සිටින බවයි.
මේ නිවේදනය සම්බන්ධයෙන් නම්ගම් පළකළ නොහැකි වන්නේ පුද්ගලයන්ගෙන් ද්වේශසහගතව පළිගැනීම් සිදුවන නිසා බව ද විශාල සේවක පිරිසකට සිදුවන මේ බලවත් අසාධාරණය පළකරන ලෙස ද මේ කරුණු සියල්ල සත්‍ය බව ද එම නිවේදනයේ දැක්වේ.


0 Responses for “ තම වර්ගයා පෝෂණය කරන වරාය හා මහාමාර්ග ලේකම්ගේ ඒකාධිපති වියරුව ගැන සේවකයින් නොසන්සුන් ”

Leave a Reply

Recently Commented

Recent Entries

Marketplace

Video Of Day


Get paid to share your links!
back to top